Thursday, September 19, 2019

"මම තුන්වන පන්තියේ මැදිරියක ගමන් කරන්නේ හතරවන පන්තියේ මැදිරියක් නොමැති නිසාය" [Switzerland Prasident]

වරක් මාධ්‍යයවේදියෙකු විසින් "ඔබ දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියක ගමන් ගන්නේ මක්නිසාදයත් ද?" යැයි ස්විට්සර්ලන්තයේ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය. 
"මම තුන්වන පන්තියේ මැදිරියක ගමන් කරන්නේ හතරවන පන්තියේ මැදිරියක් නොමැති නිසාය" ඔහු පිළිතුරු දුණි. 



----------------------------------------------

ස්විට්සර්ලන්තය යනු කඳු වළල්ලකින් වටවූ විසිතුරු රාජ්‍යයකි. සාමය රජයන පළමු පන්තියේ රටකි. භාෂා හතරක් කතා කරන,  (ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රොමේනෂ්) එකිනෙකට වෙනස් වූ ආගම් ගණනාවක් අදහන ජනතාවක් එහි වෙති. 1838දි ප්‍රංශ, ඉතාලි, ජර්මන් භාෂා සංකලනයෙන් බිහි වූ රොමේනෂ් එහි ජාතික භාෂාව ලෙස නම් කෙරිණි. යුරෝපය, ලෝක යුද්ධ දෙකකින් ඇවිලී ගියත්, ඒ එකදු යුද්ධයක් සමඟ හෝ සම්බන්ධ නොවුණු යුරෝපයේ එකම රාජ්‍යය ස්විට්සර්ලන්තයයි. 

ස්විට්සර්ලන්තය බිහිවන්නේ 1291දීය. ස්විට්සර්ලන්තයේ ආණ්ඩුක්‍රමය 1848දි සකස්කොට 1874දී සංශෝධනය කෙරිණි. ලෝකයේ ලිඛිත හා දීර්ඝම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇත්තේ ස්විස්ටර්ලන්තයටයි. 

එහි කැබිනට් ක්‍රමයක් නැත. ජනාධිපති ක්‍රමයක් හෝ මිශ්‍ර විධායක ක්‍රමයක් නැත. එරට ඇත්තේ බහුත්ව විධායක ක්‍රමයක් නොහොත් සාමූහික විධායක ක්‍රමයකි. එනම් එහි බලය විධායක බලය හත් දෙනෙකුගෙන් සැදුම් ලත් විධායක මණ්ඩලයක් සතුය. 
පුදුමය නම්, එහි ඉන් එක් අයෙක්වත් සමානයින් අතරින් අග්‍රයෙකු නොවීමයි. හත් දෙනාම සමානයින් අතර සමානයින්ය. 

සාමුහික විධායකයේ හත් දෙනාගෙන් හතර දෙනෙකු ජර්මන් ජාතිකයින් ය. දෙදෙනෙක් ප්‍රංශය. එක් අයෙකු ඉතාලි ජාතිකයෙකි. 
මේ හත් දෙනාගෙන් එක් අයෙකු සභාපති ලෙසද තවත් අයෙකු උප සභාපති ලෙසින්ද පත් වේ. එම තෝරා ගැනීම සිදුකරන්නේ සන්ධීය සභිකයින් විසිණි. ඒ වර්ෂ එකක වැනි සුළු නිල කාලයකටයි. වර්ෂයකින් නිල කාලය ඉක්ම වූ පසුව උප සභාපති සභාපති ධූරයට පත්වේ. සන්ධීය සභාවේ සභාපති යනු ස්විට්සර්ලන්තයේ ජනාධිපතිවරයාය. 

ස්විට්සර්ලන්තය තරම් ජනතාවට බලය පිරි නැමූ ජන සම්මතවාදී ආණ්ඩුක්‍රමයක් ඇති රටක් තවත් නොමැති තරම් ය. එයි පිළිඹුම ජනමත විචාරණය, ප්‍රාරම්භනය හා පුනරාවර්තනය වැනි ස්විශේෂි සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ හරහා දැකිය හැක. 

ස්විට්සර්ලන්තයේ ව්‍යවස්ථාදාකය ස්ථාපිත කර ඇත්තේ ද්වි මණ්ඩලිකවයි. එහි ඇත්තේ සන්ධීය ආණ්ඩුක්‍රමයක් නිසා එසේ සිදු වී ඇත. 
ව්‍යවස්ථාදාකය ජාතික සභාව හා සෙනට් සභාව ලෙස කොටස් දෙකකි. 
ජාතික සභාවේ මුළු සභික පිරිස 200කි. ඝණ පූර්ණය සඳහා 101ක අවමයක් සිටිය යුතුය. 

*මැතිවරණ පැවත්වෙන්නේ සෑම අවුරුදු හතරකට වරක්ම ඔක්තෝබර් මාසයේ අන්තිම ඉරිදා දිනයේදීය. ඒ සමානුපාතික ක්‍රමයටයි. ආසියාවේ තුන්වන ලෝකයේ රටවලට මෙන් එහි පූජ්‍යය පක්ෂයට සභාවේ අසුන් වල තරඟ කළ නොහැක. (ආගම හා දේශපාලනය අතර පාලමක් නැත. ආගමික බල ඒකාධිකාරයන් දකින්නට නොමැත. ආගම විසින් පාලනයේ හා මර්ධනයේ අදිසි හස්ත ක්‍රියාත්මක නොකරයි. ආගම විසින් ජනතාවගේ ආධ්‍යාත්මික සුවය සලස්වනවා පමණි.)

එහි කාලය අවුරුදු හතරක් වුවත්  සභා දෙක එනම් ජාතික සභාව හෝ සෙනට් සභාව එකඟ නොවූ තැනේදි එය විසිරුවා හැරේ. ඔවුන් ඒකබද්ධ සැසි කැඳවා  සාකච්ඡා මාර්ගයෙන්  ගැටළු විසඳිමට මාන බලයි. ගැටළු විසඳිය නොහැකිනම් ජනමත විචාරණයකට යයි. 

ජාතික සභාව මෙහෙයවන්නේ උක්තයේ මා කියූ අවුරුදු එකක සේවා කාලයකට පත් වූ සභාපති නොහොත් ජනාධිපතිවරයා විසිණි. 

*නිල ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් මෙහි නැත. ආණ්ඩු පක්ෂයක් හා විපක්ෂයක් සහිතව මන්ත්‍රීවරු වෙන් වෙන්ව අසුන් නොගන්නා ලෝකයේ එකම රට ස්විට්සර්ලන්තයයි. 

* තවද ලංකාවේ මෙන් ජ්‍යේෂ්ඨ මන්ත්‍රිවරුන්ට ඉදිරි පෙළ අසුන් ද නවක මන්ත්‍රීවරුන්ට පසු පෙළ අසුන් ද ලෙසින් පවත්නා මූලධර්මවාදීත්ව මෙහි දකින්නට නොලැබේ. මන්ත්‍රීවරුන් අසුන් ගන්නේ පැමිණි පිළිවෙලටය. එසේනම් ඔවුන් ක්‍රියා කරන්නේ පක්ෂ පදනමින් නොව පොදු ජාතික හැඟීමෙන් බව ඔවුන්ගේ දේශපාලන ක්‍රම අධ්‍යයනය කරන අපට මනාව තේරුම් ගත හැක. 
ඝෝෂාකාරි ඔල්වරසන්, කෑකෝ ගැසීම්, තර්ජන ගර්ජන, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙන් ගහ මරා ගැනිලි වැනි මැර ක්‍රියාවන් ස්විට්සර්ලන්තයේ පාර්ලිමේන්තුවේ කිසි දිනෙක අසන්නට හෝ දකින්නටවත් නොලැබේ. 

ජාතික සභාවේ ප්‍රධාන කාර්‍යය නීති සම්පාදනයයි. නීති සම්පාදනය සම්බන්ධයෙන් සභා දෙකෙහිම බලතල සමානය. ජාතික සභාවේ සම්පාදනය වන පනත් සෙනට් සභාවේද සම්මත විය යුතුමය. 

*එරට ජනාධිපතිවරයාට හෝ අධිකරණයට ඒවා නිෂේධ කිරීමේ හැකියාවක් නැත. එහෙත් එය ජනතාවට හැකිය. 

මෙහි ජනතාවට ඇති බලය පුදුමාකාරය. නීති සම්පාදනයේ දිත්, අයවැය අනුමත කිරිමේදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදි බලය සන්ධීය මහා මණ්ඩලයේ (හත් දෙනාගෙන් සැදුම් ලත් විධායක සභාව) පැවතුනත් ඒවා සිදු කළ යුත්තේ ව්‍යවස්ථා සභා දෙකෙහිම අනුමැතියත් ජනමත විචාරණයක අනුමැතියත්, කැන්ටන් බහුතරයක අනුමැතියත් තුළය. 

ව්‍යවස්ථා සංශෝධනය වැනි කාරණා වලදි ජනතාව ලක්ෂයක් පමණ අත්සන් කල ලියැවිල්ලකට ව්‍යවස්ථා සංශෝධනයකට මුල පිරිමේ හැකියාව පවති. 

ස්විට්සර්ලන්තයේ අධිකරණයකට හිමි වී ඇත්තේ ද්විතීයික තැනකි. අධිකරණය සතුව ප්‍රතිනිරීක්ෂණ බලයක් නැත. එරට පරම විධායකය, විධායකය, ව්‍යවස්ථාදායකය අධිකරණය නොව ජනතාවයි. 

ලංකාවේ ද පරම බලය ජනතාව සතු යැයි කියති. එහෙත් එය එසේ නොවේ පාලකයන් විසින් ජනතාවගේ බලය කොල්ල කා සිටිති. 

පෞද්ගලිකව මම ලෝකයේ කැමැතිම රටවල් අතුරින් වඩාත් ආශා කරන්නේත්, කෙදිනෙක හෝ ගොස් ජීවත්වන්නට සිහින දකින්නේත් ස්විට්සර්ලන්තයයි. ඒ තරමට මම ස්විට්සර්ලන්තයේ පරිසර පද්ධතියට ආශා කරමි. එහි පිරිසිදු නැවුම් බවට ගැති වෙමි. 

එහෙත් මම ඉපදුනේ ශ්‍රී ලංකාව නැමැති සුන්දර දූපත් රාජ්‍යය තුළයි. එය සිංගප්පූරුවක් කරන්නට, එය ලිබියාවක් කරන්නට, එය ඇමරිකාවක් කරන්නට වලි කෑ එවුන් මම මගේ විසි අවුරුදු ජීවිතයේ හිසේ කෙස් ගණනට දැක ඇත. ආර්ථික පදනම් වල, ලාභය උපයන්නට වලි කෑ මිනිසුන් මට හමු වී ඇත. දේශපාලනය යන්න ආර්ථිකව නැගී සිටින්නට හෝ උපයා ගැනීමට ඇති ඉල්ලමක් යැයි කියන්නා එවුන් හමුවී ඇත. 

එහෙත් දියුණුව කියන්නේ ටයිල් ඇල්ලූ පොළවක්, තුන් වේලට හැම් බේකන් ආමාශ ගත කර ගැනීමක් හෝ තමන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා වාණිජ ලෝකයේ සුපිරිතම වාහන පරිභෝජනය කිරීම නොවන බව මම උගතිමි. 

රටක් ලෙස එකාවන්ව එකතුව රැක ගත යුත්තේ ආගම හෝ සංස්කෘතිය නොවන බවත් ජාතික පොදු හැඟීම බවත් මම තේරුම් ගතිමි. ජනප්‍රිය සංස්කෘතිය තුළ ජීවත්ව, සම්භාව්‍ය සංස්කෘතියේ අදහස් අතර ප්‍රාණවාචියෙකු වන්නට පුරවැසියෙකු ලෙස මම ද උත්සහා දරමි. 

දියුණුව කියන්නේ වනාන්තරය කපා, සතා සීපාවන් මරා දමා, ඔවුන්ගේ මස් මාංශ බුදිමින් කොන්ක්‍රීට් වනාන්තර ගොඩ නැගීමෙන් නොවන බව මම ලෝකය ඇසුරින් උගතිමි. ජයග්‍රහණය කියන්නේ අවි බලයෙන් ජාතීන් යටත් කොට ගැනීම හෝ තවත් ජාතියක් කොණකට තල්ලු කොට ආඩම්බර වීම නොවන බව මම උගතිමි. තවමත් උගනිමින් සිටිමි. 

මර්ධනය කියන්නේ හෝ පාලනය ලෙස මම විශ්වාස කරන්නේ සිතු මතේ පනත් හා නීති රීතින් ඇති කොට තහනම් කිරීම් නොවන බව මම දනිමි. බලපෑම් කණ්ඩායම් කියන්නේ දේශපාලන හවුල්කාරයන් නොව ජනතාවාදී සාමුහික හැඟීම් ඇති එවුන් යැයි මම විසින් තනිව අර්ථකථනය කරමින් සිටිමි. 

ලෝකයේ අනෙක් රටවල් ආර්ථිකව දියුණුව ලබන්නට පෙර ආකල්පමව දියුණුව ලැබූ බව මම අධ්‍යයනයෙන් උගතිමි. ආකල්පමව පරිහානියට පත් වූ රටක හිඳ මම වෙනත් රටක් දෙස බලාගෙන සතුටු වෙමි. ඒ රටේ ජාතිකයින් දෙස ඊර්ෂ්‍යාවෙන් බලමි. අසරණ වෙමි. හුදකලා වෙමි. ආත්ම අනුකම්පාවෙන් බැට කමි.

1 comment:

  1. ඉතාම අගනා ලිපියක්. ඔබ වැනි අදහස් ඇති අය තව තව බිහිවේවායි පතමි.

    ReplyDelete