Thursday, July 11, 2019

මනුසත්තු (පළමු පිට)


"ඔයාට බෑ මේ රටේ මිනිස්සු වෙනස් කරන්න.. නිකං බොරු වැඩ කරන්න එපා.." 
"හහ්.. හහහහහාහ්.." 

"ගොන් පාට් දාන්න එපා" ඇගේ මුහුණේ නෝක්කාඩුවත් හරියට  වියලි කලාපයට පායන පෙරදිග අහසේ කළුවලාව වගේමය. කොයිම මොහොතක හෝ කඩාගෙන වැටෙනවාමය. ඒත් කවරදාකවමත් කඩාගෙන වැටෙන්නේ උවමනා තැනට නොවේය. මහා වැස්සක් උවමනා පොළව හැමදාම බොල්ය. දුහුවිල්ල විතරය. නොවුමනා තැන හැමදාම තෙත්ය. පය තබන තබන තැන "චිරිස්" ය. අන්දරයායවල් වලින් සැදුම් ලත් වියලි කලාපයේ පොළවත් එහෙමය. කලකින් පීදෙන ගොයමක වුව ඇත්තේ වකුගඩු රෝගයක ගඳය. තද පොළවේ ඇනෙන පයට ඇති රිදුම අහස් කුස නොදනී. එමෙන්ම ඇගේ දෑස ද මෙලෙක් මගේ හදවත තව තවත් වහුචුර් කළා මිස, අමුතුවෙන් මෙලෙකක් ඇති කළේ නැත. 

"කුඹුරු වේලෙනව.." කවුළුවෙන් ඉවත බලාගෙන සිටින ඈට මම කීවෙමි. මේ වචන පිට පෙරළු කලගෙඩියකට පුරවන වතුර බව මම දනිමි. කොතරම් පිරෙව්වත් නොපිටටය. ඉවතටය. මගේ වචනත් එහෙමය. කොතරම් කීවත් බීරි අලින්ට වයනා වීණා වාගේය. එහෙත් කරඹාගෙන බලාසිටින පුරුද්දක් මට තිබුණේ ද නැත. මගේ හදවතේ උපදින සෑම සිතුවිල්ලක්ම මෘදු වුව රළු වුව කීමේ පුරුද්දක් තිබිණි. මම සියල්ල කීවේ ඇයටය. මිනිසුන් කියන්නේ කියන්නට දෙයක් ඇත්නම් එය කිව යුත්තේ තේරුම් ගන්නා විශ්වාසවන්තයෙකුට කියාය. එහෙත් මම එහෙව් මිනිසුන් මගේ ජීවිතයේ කිසිදු දිනයකදී අමුතුවෙන් සොයා නැත. මගේ විශ්වාසවන්තයා ද මගේ තේරුම් ගැනීම ද ඈම විණි. මගේ සියල්ලම ඈ වූ කලී මට අමුතුවෙන් මගේ සිතුවිල්ල බෙදාගන්නට කෙනෙකුන් අවශ්‍යය යැයි හැඟුණු දිනක් තිබුණේම නැත. 

".. ඔයා කවද්ද අපි දෙන්නා ගැන හිතන්න ගන්නේ?" කවුළුවෙන් ආ හීතල සුළඟක් මා වෙලා ගත්තේය. මා හුළඟ ආ දිසාවත් ඈ දෙසත් බලමි. බැල්මකට මුලින්ම හසුවන්නේ ඈත තිබෙන දෙය නොව ළඟ තිබෙන දෙයය. ඒ නියතිය මට ද පොදු වූ නිසාවෙන් සීතල සුළඟ එන දිශාවේ සිතිජයට ප්‍රථමව මම ඈව දකිමි. මම දුටුවේ ඈ හඬන බවය. 
"ඔයා ඔය අඬනවද?" මම ඇගේ සුරතින් අල්ලා ගතිමි. ඈ අත ගසා දැමුවාය. 
"ඔයා හැමදාම මාව අඬවනව.. මොකක්ද මේකේ තේරුම.." 
මම කිසිවෙකු හඬනවාට අකමැත්තෙමි. මම ඒ හැඟීම කෙසේ කියම්දෝ කියා නොදනිමි. එය කෙසේවීයත් මට හැඬුම් පෙනෙන්නට බැරි තරම්ය. මම හැඬුම වලට වෛර නොකරමි. එහෙත් හැඬුම් දකින විට මගේ හද අන් කවරදාටවත් මටම අවනත නොවන අයුරින් මෙලෙක් වේ. එතැනදී මට මගේ ස්වකීය පාලනය අහිමිව යයි. මම ජීවත්වන්නේ යම් කිසි පාලනයක් තුළය. ඒ පාලනය මට අහිමිව යන කලට, මා හට මාවම අහිමිය. කිසිවෙකු තමන්ට තමන්ව අහිමිවනවාට කැමැත්තෙන් සිටී යැයි මම විශ්වාස නොකරමි. 
"ඔයා මොකක් ගැනද කියන්නේ?" මම අසරණ වෙමි. ආත්ම අනුකම්පාවෙන් බර වෙමි. බිඳී විසිරෙන මගේ වචනයකට ලැබෙන වටිනාකම මම ඒ ආශ්‍රයෙන් සොයා බලමි. 

"හැමදේම ගැන.." 
"මම දැන් ඔයාට මොනවද කීවේ?" 

"ඔයා මුකුත්ම කීවේ නෑ. හැම වෙලේම ඔයා මොනාහරි කියලා නිවැරදි වෙනව.." මම සිනාසුණෙමි. තනිව, අහේතුකවම සිනාසුණෙමි. එහෙම හිනාවක් මගේ මුහුණට එන්නේ මම කෝපයෙන් මත් වන වෙලාවටය. එවැනි වේලාවට මම කියන දෙයවත්, මා අතින් සිදුවන දේවල් ගැනවත් මට වගක් ඇත්තේ නැත. මම කුකුල් කේන්ති කාරයෙකි. එමෙන්ම ඉක්මණින්ම නිවෙන මිනිසෙකි. මා ඇවිලෙන වේගයට වඩා කෙමෙන් නිමෙමි. අහේතුකව කේන්තියට පත්වන පුරුද්දක් මා තුළ ඇතැයි නොසිතමි. මට සෑම දෙයක්ම උවමනාවටත් දැනෙනවාය. ඒ හින්දාම මම ඇදී යන්නේ සීමා රහිත සිතුවිලි දාමයකටය. 

"මචං උඹට හැම වෙලේම තරහා යනවා.. උඹ ඕක පොඩ්ඩක් කල්පනා කරලා කන්ට්‍රෝල් කරගන්න ඕනේ.. උඹේ හොඳට කියන්නේ.. මට වඩා උඹට ඔළුවක් තියෙනවනේ. ටිකක් කල්පනා කරලා ඕකට ක්‍රමයක් හොයා ගනින්.." මට මතක් වෙන්නේ මම ගමට යන බව කියද්දී  අමිත් මඟින් මගටම කියූ දෙයකි. මම මගේ තරහව ඉදිරියට දමාගෙන සියල්ල අනාගන්නා බව ඔහු ද දැන සිටියේය. එහෙත් ඉවසීමට අහිමිවන, තරහාවට හිමිවන මගේ පාලනය නැවත හිමි තැනට නතු කරන්නේ කෙසේද යන්න මම නොදැන සිටියෙමි. මගේ තරහව පිළිබඳව මගෙන් පිට හිඳ ප්‍රශ්න කරන අයෙකු එය මට කියා දුන්නේ ද නැත. ඒ කෙසේවෙතත් මම සිටියේ මා එවැනි ක්‍රමයක්  උත්සාහ කර බැලිය යුතු මොහොතකය. 

"කරන්න බැරි වුණාට කමක් නෑ උත්සාහවත් කරපන්.. සමහරවිට හරියයි.." අමිත්ගේ වචනය නැවත නැවතත් මගේ ඔළුව තුළ ඇහෙද්දී මම දෑස් පියාගතිමි. 
"නමය, අට, හත, පහ ආ නෑ නෑ නමය, අට, හත, හතර.. ෂිට් මේක හරියන්නේ නෑ" මම නැවත දෑස් හරිමි. සුරත මිට මොළවා ගනිමි. ඈ දෙස බලමි. ඈ තවමත් කවුළුවෙන් එපිට දෑස් රඳවාගෙන සිටින්නීය. 

"නමය, අට, හත, හය, පහ, හතර, තුන, දෙක, එක, බිංදුව.." මම නැවත නැවතත් මුලටත් අගටත් සිඟිති දරුවෙකු වාගේ ගණන් කරමි. මම එය උගත්තේ භාවනාව පිළිබඳව ඉගැන්වූ කැලණියේ කෝලිත හාමුදුරුවන්ගෙන්ය. උන් වහන්සේ මගේ සම වයස් මිතුරෙකි. භික්ෂුත්වය වැළඳ ගැනීමට පෙර සිටීම එනම් ගිහි කාලයේ පටන්ම උන් වහන්සේ මගේ මිත්‍රයෙකු විය. තම විහාරස්ථානයේ පැවැත්වෙන ධර්ම කටයුතු වලට දුරකතනයෙන් අමතා ආරාධනය කරන උන් වහන්සේ වෙනුවෙන් සෑම ආරාධනයක්ම පිළිගත්තා මිසක මා ගිය දිනක් තිබුණේම නැත. ඒ හින්දාම ධර්ම සාකච්ඡාමය වැඩසටහන් වලට නොපැමිණෙන තම මිත්‍රයා වෙනුවෙන් වැඩසටහනේ සිද්ධ වූ කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කරන්නට උන් වහන්සේ පුරුදුව සිටියහ. ඒ හින්දාම ධර්ම ගැත්තෙකු නොවුණ ද මා උන් වහන්සේ ඇසුරින් බුද්ධ දර්ශනයේ ඇතැම් දෑ පිළිබඳවත් එයින් පරිබාහිරවත් යම් යම් දෑ උගතිමි. 
"උඹ ඔය කරන්නේ ගණන් කරනවා කියලා ටයිම් පාස් කරන එකයි.. ඒකෙන් උඹව නිවෙනව" මගේ සිත මා සමඟ අවලාදයෙන් යුතුව මුමුණයි. මම නැවත දෑස් හැර බලමි. ඈ තවමත් ඉවත බලාගෙනවත්ම සිටින්නීය. 

මගේ සිත මුමුණන දෑ නොතකා, මම නැවතත් ගණන් කර බලමි. ඒ අතර මැද සිතට ඔවදන් ද  දෙමි. තරවටු ද කරමි. 
"මම තරහා ගන්න හොඳ නෑ.. ඒකෙන් දුක් වෙන්නේ මම විතරක් නෙමෙයි.. ඒකෙන් අනිත් අයත් දුක් වෙනව.. මම දුක් වුණාට කමක් නෑ.. ඒත් වෙන කෙනෙක් දුක් වෙන්න හොඳ නෑ. මම ආයේ කිසිම දෙයක් ගැන කතා නොකර ඉන්නවා.. මගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තේරෙන මිනිස්සු එක්ක විතරක් කතා කරනවා.. ඒත්, මට දෙයියනේ මම ආදරේ කරන මිනිස්සු එක්ක මාව බෙදාගන්නේ නැතිව වෙන මොකා එක්ක මාව බෙදාගන්නද?" 
මම පත්වෙන්නේ ආත්මීය අසරණකමටය. ආත්ම ඝාතනයකට අවතීර්ණ වන්නට තරම් මගේ හදවත ශක්තිමත් නැති බව මම දනිමි. මම කතා කළ යුතු බවට මගේ සිත නැවත කියයි. මම සන්නිවේදනය කළ යුතු බවට මගේ බුද්ධිය තීරණය කරයි. 

"මේ අහන්න.. මම කියපු දේ ඔයාට තේරිලා නෑ.. මම හිතන්නේ අපි ගැන තමයි.." 
"ඔයා කවද්ද අපි ගැන හිතුවේ.. හැමදාම ඔයා ගැන විතරයි.. ඔයා ගැනම විතරයි.." ඈ නැවත නැවතත් ඇඟටම එන්නීය. ඇගේ වචන මගේ සිත් පත්ලට වැදෙන හීසර මෙන් ඇනී රිදුම් දෙන බව ඈට වැටහීමක් නැත. එක්කෝ ඈ සොයන්නේ ජයග්‍රහණය විය යුතුය. දිනන්නට සෑම මිනිසෙකුම කැමතිය. ඈ ද එසේ විය යුතුය. එහෙත් මට උවමනා ඈ මගේ තර්කන හැකියාවෙන් පරාද කොට සතුටක් ලබන්නට නොව, මගේ සැබෑ හැඟීම කුමක්දැයි යන්න පිළිබඳව වැටහීමක් ලබා දෙන්නටය. එය තේරුම් නොගන්නා තාක්කල් ඇය මම යන පුද්ගලයා පිළිබඳව සිටින්නේ වැරදි වැටහීමකින් යැයි මම සිතමි. 
"හරි.. මම වැරදියි.. ඕකේ.. ඒත් මේ මගේ හැඟීම්.. ඔයාට ඒ ගැන තේරෙන්නේ නැත්ද?" 
"මොකක්ද හැමදාම ඔයාගේ හැඟීම් ගැන විතරද.. මට තියෙන්නේ මොනවද.. මම මෙතැන අපි දෙන්නා ගැන හිතනව.. ඔයා මෙතැන සමාජය ගැන කතා කරනවා. ඒ ගැන කීවාම ඔයා හිනා වෙනවා. මොනවද අනේ මෙච්චර ගොන් පාට්.. ඔයාට මා ගැන ගානක්වත් නැහැ.. ඔයා ගැන විතරයි.." 

"දරුවෝ.." මගේ සිත සිනාසෙයි. මම වියරු වැටුණු මා තුළ ජීවත්වන සත්වයාට ඉඩ නොදී ශාන්ත හැසිරීමකට දැඩිව මෙහෙයවෙමින් සිටියෙමි. 
"දරුවෝ මේ අහන්න.. මම සමාජය කියා කීවේ ඔයයි මමයි ඉන්න තැන ගැනයි.. ඒ ඔයයි මමයි ඉන්න තැන.. මම කීවේ ඒක අපි වෙනස් කරන්න ඕනේ කියන එක නෙමෙයි. මම දන්නව මේක වෙනස් කරන්න බෑ කියලා.. මම මේක වෙනස් කරන්න හදන මෝඩයෙක් නෙමෙයි.. මම කීවේ මම ඒක තේරුම් ගත් විදිය ගැන.. ඒකට උදාහරණ කතාවක් විතරයි.. ඒ කියන්නේ මගේ දෘෂ්ටිය ගැනයි.. මම දකින විදිය ගැනයි.." 
"මොනාද අනේ නවත්තගන්න.." 

"නෑ මේ ඔයා අහන්න.. ප්‍රශ්නේ තේරුම් අරගෙන යන්න.. මම කියපු දේ ඔළුවට දාගන්න.. ඔයයි මමයි වටේ ඉන්න මිනිස්සු ආදරය කරනවා කියන්නේ සෙක්ස් කරන එකට.. ඊට පස්සේ එයාලා එයාලාගේ ප්‍රයිවසි එක ලීක් කරගන්නවා.. ඔයා මේ මොහොතේම  දැක්කනේ.. මිනිස්සු කරන්නේ ඒ ඒ අයගේ දේවල් වලට ඩිල් දාන එකයි.." 
ඈ හා මම සතියකට දින දෙක තුනක්වත් හමුවෙමු. අද ද එවැනිම දිනයකි. අද දිනයේ විශේෂත්වයනම් අප දෙදෙනාම එකට එකතුව තෙමසකින් පමණ අපගේ නිවසට යාමය. සිව් වසරකට වඩා ආයු ඇති අපගේ ප්‍රේමය පිළිබඳව නොදන්නා එකෙකු අහල ගම් හතක හෝ නොමැති තරම්ය. ඒ තරමටම සමාජයටම නිරාවරණය වූ ප්‍රේම කතාවක් අපට තිබේ. විවාහ වෙන්නට කාලය එළැඹි ඇති බව දෙපාර්ශවයේම දෙමාපියන් නිතර කීවද අප එවැනි තීරණයකට අවතීර්ණ නොවුයේ ජීවිතය තව දුරටත් තිර තැනකට ගෙන විවාහ ජීවිතයකට එළැඹිය යුතු බවට අප දෙදෙනාම කථිකා කරගෙන තිබෙන නිසාය. "අපි තව ස්ටේබල් වෙන්න ඕනේ.. මෙහෙම බෑ.." අම්මා "දැන් කාලය හරි" කියා කියන විට මම නිතර කියමි. ඈ ද එම තීරණය තුළ සෘජුවම සිටියාය. 
අප දෙදෙනාම හමු වුයේ එකටම ගෙදර යන්නය. එහෙත් අප දෙදෙනා දවල් ආහාරය ගන්නට ගිය කුඩා අවන්හලේ මේසය මතදී අප වටා සිටින කිහිප දෙනෙකුගේ සාකච්ඡාවක හඬ අප දෙදෙනාටම ඇසිණි. එහිදී එහි සිටි පුද්ගලයින් යෙදී සිටියේ අශිෂ්ට යැයි කිව හැකි කතා බහකය. එම කතාව ඇසුණු මා තුළ ඇතිවූ සිතුවිල්ල මම ඈ සමඟ බෙදා ගතිමි. මෙම ගැටුම පටන් ගන්නේ එතැනින්ය. 

"ඉතිං ඔයාට මොකද? මම අහන්නේ ඔයාට තියෙන අමාරුව මොකක්ද?" 

මම පුපුරා ගියෙමි. අසීරුවෙන් හුස්ම අදින ශිෂ්ට සම්පන්න මනුක්ෂත්වයට මැරෙන්නට ඉඩ දී, අශිෂ්ට සත්වයාට ඉඩ හලෙමි. දැන් ඉතිං මේ පිපුරුමෙන් පසුව දින සති මාස ගණනකට විසිරෙන කෑලි එකතු කොට පිරිද්දිය යුතුය. එයින් ද සෑහෙන්නේ නැත. ඒවා බිඳුණු බව නොපෙනෙන්නට සැඟවිය යුතුය. එහෙත් මම පිපිරීමට ඉඩ දුනිමි. 

"මෝඩ ගෑණියේ.. තෝයි මමයි ඉන්න තැන වටේ ඉන්න වැටකොළු පොන්නයෝ ආදරය කියන දේ දූෂණය කරනව. වටේ එවුන් කතා කරන්නේ ලීක් වෙච්ච එකයි, ලීක් කරන එකයි, ඒවා බෙදා ගන්න එකයි ගැන.. උන්ට තියෙන අසංවේදීත්වය ගැන මට වේදනයි. බිකොස් මම ආදරය කරනවා. මම ආදරය කරන්නේ ඒ වගේ පසුබිමකද කියලා මම වොරි වෙනව. මම ඒ ගැන උඹත් එක්ක ෂෙයා කරගන්නේ උන්ව හදන්න ඕනේ කියලා කියන්න නෙමෙයි බං.. අපි ඉන්නේ අන්න ඒ  වගේ සමාජයක කියලා කියන්න. අපි උන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ කියන්නයි.. උන්ට උන්ගේ ජීවිතම විහිළුවක් වෙනකොට, වටේ ඉන්න අපේ ජීවිත ගැන කිසිම සංවේදීත්වයක් නැහැයි කියන්න.. අපිට එතකොට උරුම වෙලා තියෙන්නේ මොන වගේ තැනක් ද කියලා ඒත්තු ගන්වන්න.. ඒකෙන් අපි ආරක්ෂා වෙමු කියලා කියන්න.." 

ඈ හොල්මනක් දුටුවාක් මෙන් මා දෙස බියට පත්ව බලාගෙන සිටියි. ඈ දෑස් හඬවන්නීය. ඒ කඳුලු කැටිති උල්පතක දිය කාන්දුවක් මෙන් දෙකොපුල් පුරා රූරා වැටෙයි. 

"බොරුවට.. මෙතැන.. බොරුවට අඬන්න එපා උඹ.. මෝඩයෙක් වගේ.. ගොනෙක් වගේ.." 
"මම මෝඩයෙක්.. මම බූරුවෙක්.. මම ගොනෙක්.. ඒකනේ තමුසේ වගේ මෝඩයෙක් එක්ක යාළු වුණේ.." ඈ ඉකි ගසමින් පැවසුවාය. මම එයින් තව තවත් බුර බුරා ඇවිලෙන ගිණි සිළුවක් බවට පත් වූවා මෙන්ම, නිවෙන්නට තැනක් නොමැතිව අසරණ ද වූයෙමි.

"එහෙනං මොන ලබ්බටද ඕයි මාත් එක්ක ඉන්නේ. පලයන්කෝ යන්න.. කවුද උඹව තියාගත්තේ.." 
"යනවා.. මම යනවා.. යන්නම යනවා.." 

"ඉතිං පලයන්.. උඹලට හරියන්නේ සෝෂල් මිඩියා වල කවි ලියාගෙන, බොරු පොයිය දාගෙන වටේ දහයක් විතර තියාගෙන, බුදියන්න එකයි, ආතල් ගන්න එකයි වගේ ඉන්න ඩයල් තමයි.. යමන්කෝ ගිහිං ඒ එකෙක් එක්ක හිටපන්.." 
"ආදරෙත් එපා කළා. තව මොකෙක් එක්ක ඉන්නද.. මාව විනාශම කළා.. වෙන එකෙක් ගාවට යන්න පුළුවන් ද මැරිලා යනව මිසක්.." 

"ඉතිං මැරියන්.." 
මම ප්‍රේමය සිරගෙයක් යැයි නොකියමි. මම එසේ සිතූ කාලයක් තිබිණි. එය ප්‍රබන්ධයක් කොට තැකු කාලයක් ද ප්‍රේම කල්පනා වලට අවඥාවෙන් යුතුව සිනාසෙමින් සිටි කාලයක් ද තිබිණි. එහෙත් ඒ කාලය පුරාවටම මම සැබෑවටම ජීවත් වූවා යැයි නොසිතමි. ඈව හමුවන තුරුම, මම සැබෑවටම සිනහව කුමක්ද නොදැන සිටියෙමි. සිනහවත් සංතෝෂය පිරි සිනහවත් එකක් නොව දෙකකැයි ද වඩා ජීවිතකට අරුත් සපයන්නේ සංතෝෂය මුහු වූ සිනහව යැයි ද මා ඈ තුළින් උගතිමි. එමෙන්ම ජීවත්වීමත්, ජීවත්වන බව දැන ජීවත්වීමත් යන්න පිළිබඳව මම උගත්තේ ඇගේ ප්‍රේමය තුළිණි. ඈව හමුවන තුරාවටම, ඇගේ ආත්මය ද මගේ ආත්මය ද බන්ධනය වන තුරුම මම ඒ කිසිවක් නොදැන සිටියෙමි. 

තවදුරටත් මම ප්‍රේමය තුළ හිඳ ජීවත්වෙන්නට නොහැකි බැව් උගතිමි. ජීවත්වීමත් ප්‍රේමයත් යන්න රේල්ලුවේ පීලි දෙකක් මෙනි. දෙකම එකම ගමනාන්තයක සමාන්තරව දිවෙයි. එහෙත් කිසි දිනෙක එකිනෙකාට ලං නොවෙයි. ජීවත්වන්නට ප්‍රේමය තිබුණාට මදිය. ජීවත් වූවා කියා ප්‍රේමයක් සදාකාලිකව රැඳෙන්නේ නැත. ප්‍රේමයත් ජීවත්වීමත් අතර බන්ධනය සදන සිල්පර කොටන් ලෙස මම අවබෝධය හා තේරුම් ගැනීම දකින්නට පුරුදු වූයේ එසේය. 
මේ ලෝකයේ සංසාරික බන්ධන නොමැති බවත්, සෑම බන්ධනයක්ම සංසාරය පුරාවට රැගෙන යා හැක්කේ උසස් තේරුම් ගැනීමකටත්, අවබෝධයකට බවත් මම දැන සිටියෙමි. එහෙත් එකී ඉගැනුම ලැබෙන්නේ මට පමණක් ම දෝ යන්නත්, එය වැරදි ඉගැනීමක් දෝ යන්නවත් මට සාකච්ඡාවක් තුළ හිඳ අවබෝධ කරගන්නට හැකියාවක් නොතිබිණි. එහෙයින් මා නොදන්නා මොහොතක, නොසිතු, බලාපොරොත්තු නොවූ හෝරාවක මගේ ප්‍රේමය බිඳී ගොස් තිබිණි. 

**************************** 

"අනේ උඹලගේ පොලිටිකල්.. උඹ හිතනවද කවිඳු උඹලට පුළුවන් කියලා දිනන්න.." ගමට ආවේ මාස තුනකට පසුවය. ගමට පැමිණ පහුවදාම කාගේදෝ ආරංචියකට ඉලුක්ගොල්ලේ කවිඳු මා සොයාගෙන ආවේ මොන හේතුවකට උවත් කතාව දික්ගැස්සුණේ දේශපාලනය මාතෘකාව කරගෙනය. කවිඳු අබේසුන්දර කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ ගමට සිටි එකම මන්ත්‍රීවරයාය. පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දයේදි මම ඔහුට රහසින්ම මගේ කැමැත්ත ලබා දුන්නේ ඔහු මගේම වයසේ මගේ හොඳම මිතුරා වූ නිසාවෙනි. එසේ නොමැතිව මට එකල පැහැදිලි දේශපාලන දර්ශනයක් හෝ න්‍යායක් හෝ අඩුම තරමේ දේශපාලන දැනීමක්වත් තිබුණේ නැත.
එහෙත් මම ඡන්ද ව්‍යාපාරයේ සෑම දේශපාලන කණ්ඩායමක් සමඟම සම්බන්ධකම් පැවත්වූයෙමි. සෑම මැතිවරණ වේදිකාවකටම ගියෙමි. සමර් හඩ් එකේ සිට ප්ලාස්ටික් පුටුව දක්වාම ඇද එක පෙළට පෙළ ගස්වා බිම් මට්ටමේ සහයෝගය දුනිමි. පවත්නා ආණ්ඩුව කෙරෙහි සෑම කෙනෙක් තුළම වූයේ අපුල දනවන අදහසකි. ප්‍රාදේශීය සභා ඡන්දය තුළින් ගමේ සිටි සියළුම තරුණ තරුණියන් විසින් ඊට ප්‍රති උත්තර දෙන්නට බලාගෙන සිටියේය. ඇතැමුන් තම තමන්ට අයිති පිලක් නියෝජනය කරද්දී හුදකලාවේ සෑම පිලකටම සහයෝගය පළකරමින් පෝස්ටර් ඇලවූ එකම දේශපාලන සත්වයා මම වීය.

කවිඳු මුලින් ස්වාධීන කණ්ඩායමක් තුළින් මැතිවරණයට ආවේය. එහෙත් ඔහු තුළ තිබුණේ වාමාංශික අදහස් නිසා ඔහු තම ශක්තිය වාමාංශික පිළට දෙන්නට තීරණය කරන්නට ඇත. කෙසේ වෙතත් කවිඳුට කොට්ඨාසය තුළ මංත්‍රීවරයෙක් වෙන්නට හැකියාවක් ලැබිණි. ඒ සඳහා ජනමතය ඔහුට තිබිණි. මම ඒ ගැන සිටියේ පුදුමාකාර සතුටකින් හා ආඩම්බරයකින් යුතුවය. කොළඹ සිටියදී කවිඳු මා සමඟ නිතර කතා කළේය. ජනහිතකාමී සෑම කටයුත්තක්ම දැනුවත් කොට, මගේ අදහස දැනගන්නට ඔහු පෙළඹවී සිටියේය. බාගවිට ඔහුට ඔහුගේ අදහස බෙදාගන්නට  විශ්වාසවන්තයෙකු අවශ්‍යය වන්නට ඇත. ඒ සඳහා මම ඔහුගේ  පාවිච්චියක් වූවා විය හැක. ජන නායකයෙකු ලෙස ආශ්‍රය කළ පළමු වැනියා කවිඳු නොවුවද ජනතා නායකයෙකු ලෙස මගේ හිතාදරයා වූයේ කවිඳුය.

"ඒ ලබ්බවල් වැඩක් නෑ.. දුමක් දාමුද?" ඔහු සිගරට් පැකැට්ටුව ගෙන මා දෙසට දික් කළේය. මම සිනාසෙමින් බලා සිටියේ, මම ඔහුට ඒ ගැන කියන්නේ කෙසේද කියා සිතමින්මය. 
"මම සිගරට් බොන එක නැවත්තුවා මචං" 

ඔහු එක් අතකින් හිස අල්ලා ගනිමින් ගල් තලාවේ කොණකින් වාඩි වූවේ රිතික් රොෂාන් රඟපෑ පෑ ක්‍රිෂ් චිත්‍රපටයේ රිතික් රොෂාන්ගේ සුරතල් හිස කැසීමේ රංගනය සිහි කැඳවමිනි. පසුව ඔහු කොක් හඬලමින් සිනාසෙන්නට විය. ඒ සිනහව ගල්තලාවෙන් එපිට නිදහස් අවකාශය පුරාවටම දිගුම් දෙමින් පැතිර ගියේය. 
"අඩෝ උඹ.. සිරාවටම?" ඔහු නැවත නැවතත් සිනාසෙන්නට වූවේය. මම ද ඔහුගේ සිනහවට අත්වැල් අල්ලමින් ඔහු අසලින් වාඩි වූයෙමි. 
"උඹ මාරම වෙනස් වෙලා කොල්ලෝ.. හැබැයි හොඳයි.. ඒත් උඹ මෙච්චර වෙනස් වෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නෑ.. යකෝ මට සිගරට් බොන්න පුරුදු කරපු එකා, සිගරට් බොන එක නවත්තලා.. ඒකත් මටවත් නොකියා.. මට මාර පුදුමයි.." 

ඔහු කියන්නේ ඇත්තය. ඔහුට දුම් බීම හුරු කලේ මමය. පාසල් සමයේ විවේක කාලයෙන් පසුව තාප්පයෙන් පැන ගොස් පාසල් යුනිෆෝමය පිටින්ම සිරිසෝමගේ කඩයෙන් සිගරට්ටුවක් ගෙන පපුවට දුම් පුරවන්නට අප  පුරුදු වී සිටියෙමු. කවිඳු එකල ඊට කිසිදු කැමැත්තක් දැක්වූයේ නැත. "උඹ මගේ යාළුවෙක් ද? යාළුවෙක්නම් බීපන්" මම ඔහුට යාළුකම මත්තේ සිගරට්ටුවක් තබා පළමු වතාවට වරදට යොමු කළෙමි. ඔහු එදා පටන් මාත් සමඟ එම වරදේ එකට හැසිරුණු බව මට මතක ඇත. එහෙත් මම මගේ ප්‍රාණ සම මිතුරාට නොකියා මම ඒ වරදින් මිදී ගිය පාප මිත්‍රයෙකු වී ඇත. මට දැනුණේ වේදනාවකි. ඒ මා සතු මිත්‍රත්වයේ දුර්වලකම ගැන ඇතිවූ ලැජ්ජාව නිසාය. 

"මොනවද උඹ කල්පනා කරන්නේ?" 

මම සිනහවක් මවා ගනිමින් කිසිවක් නැතැයි යන අදහසින් හිස දෙපැත්තට වනන්නට වූයෙමු. 
"ගෙදර අයට කොහොමද බං?" මම මුවින් උත්තරයක් නොදී ඔහුව ආපිට ප්‍රශ්න කළෙමි. 
".. උඹට හිතෙන්නේ නැත්ද.. ඕක අපේ ගෙදරට ඇවිදින් අපේ ගෙදර අයගෙන් ඇහුවානම් හොඳයි කියලා. ඇයි උඹ පිට එකෙක් වගේ ඔහොම හැසිරෙන්නේ.. උඹව හැමවෙලේම මතක් කරනව ගෙදර අය.." ඔහු එසේ කීවේ අමනාපයෙනි. එය මවාගත් අමනාපයක් නොව, සැබෑ ලෙසම ඔහු තුළ නිධන්ගතව තිබූ හැඟීමකැයි මට දැනිණි. ඒ හැඟීමට දොස් පැවරීමකට යා නොහැකි වූයේ, මම ඒ වරද හිස නමා පිළිගත යුතු බව මට දැනුනු නිසාය. 

"මං හෙට එන්නං.. මට බොන්න ඕනේ.." 
"උඹ සිගරට් බොන්නේ නෑ.. අරක්කු බොනවා.. අනේ මන්දා.. හරි බොමු.. අද? හෙට?.. " 

"හෙට රෑට.. අනිද්දා මම යනවා. හෙට හවසට මම උඹලාගේ ගෙදර එනවා.." 
"හරි හෙට සෙට් වෙමු.. කොහොමද උඹගේ අජ්ජාපනේ එහෙම" 

"කෙරීගෙන යනව කවිඳු.." 
"..ඊටපස්සේ මොනවද කරන්නේ?" 

"හම්බ කරන්න ඕනේ?" 
"කොහොමද කරන්නේ?" 

"මම වෙනස් වුණා කවිඳු.. මම දැන් හිතන්නේ අමුතු විදියට.." 
"හ්ම්ම්.. මට තේරෙනවා.. උඹ කොච්චරක් හම්බ කරනවද?" 

"හහ්හහ් හා..  මම දන්නව උඹ එන්න හදන තැන.." 
"කියපන්කෝ ඉතිං?" 

"එකවාරයකට රුපියල් පන්දාහක්වත් ගන්නවා.." 
"ඕනේ එකෙක් වෙනුවෙන් කතා කරනවද?" 

"ඔව්.." 
"මම වෙනුවෙන් උනත්?" 

".. ඔව් ඇයි?" 
".. මාව බේරගනින්.. මචං.." 

"ඇයි?" 
".. නෑ මේ ගේම් එකේදි මට කවුරුත්ම විශ්වාස නෑ.. උඹ තමයි මගේ එක්ස්ට්‍රා ලයිෆ් එක.." 

"ඕල්වේස්.. මම ඉන්නවා උඹට.. උඹ ඒක දන්නවා.. ඒත් මොකක්ද වුණේ?" 
"මොනාද වෙන්න බැරි?" 

"අනේ පලයන්.. බයිලා කියන්න එපා.. යමන් ද කුඹුරු පැත්තට.. වැව බලන්නත් ආසයි.. වතුර තියෙනවද?" 
"ටිකක් තිබුණා.. කුඹුරු නම් මැරීගෙන එන්නේ.. උඹ දකින්නත් ඇති.. යමන්" 

"නියමයි.. වැවකින් නාපු කාලයක් මතක නෑ.. අඩෝ උඹේ මේ.. උඹේ බඩත් ඇවිල්ලා.. මහත් වෙලාත් එක්ක.. උඹ ජරාව කනවද මන්ත්‍රීතුමා.." 
මම කවිඳුගේ ඉදිරියට නෙරා ආ කුසට ඇඟිල්ලෙන් අනිමින් කීවෙමි. ඔහු කුඩා දරුවෙකු මෙන් දෙයතින්ම කුස අල්ලා එහාටත් මෙහාටත් පනින්නට  ගත්තේය. 
"උඹේ කුචු ඇරලා නෑ නේද තාම" මම එසේ කියද්දී ඔහු වේගයෙන් නියර දිගේ ඉදිරියට දීවේ මා කුචු කවාවි යන බියට විය යුතුය. 

මානා පඳුරු අතරින් ද නිදිකුම්බා නටු මතින් ද පාද තබමින් මම ඔහු පසුපස පන්නාගෙන ගියෙමි. අපේ කෑ කෝ ගසන  හඬ අවට පරිසරය සිසාරා පැතිරී ගියේය. අප අඩි තබන සද්දයට රුක් ගොමු මත එල්ලී සිටි කුරුළු කිරිල්ලන් තටු සලා ඉගිල ගියහ. වන රොදකට අරක් ගත් සතෙක් "සරස්" ගා වන රොදේ මුල්ලක සැඟවෙන හඬ ඇසිණි. ඒ මැදින් ලැබූ නිදහසේ සුවය පිරියෙන් යුතුව වින්දනය කරන මගේ මනසේ මතකය ඉගිල ගියේ බාලවියටය. මම වේගයෙන් හුස්ම ගතිමි. පපුව ඉලිප්පී පෙනහළු රිදුම් දෙන තරමටත්,  පෙනහළු ඇටකටු වල වදින තරමටත් ගහකොළක ඉඳුල් නොවූ හුස්ම මා තුළට පුරවා ගත්තේ මොකක්දෝ නොදැනෙන ප්‍රීතියකින් යුතුවය. දිව යන ගමන්ම බාලෝලියා ගසකින් මල් අහුරක් සූරා ගත්තෙමි. ඒ අතරමැද කටු පිරුණු එරමිණියා වැලක තාමත් නොයිඳුණු පැහුණු එරමිණියා ගෙඩියක් කඩාගෙන කටට ඔබා ගත්තේ ඇඹුල් රසින් මුව වපරයට හරවමිනි. කවිඳු මටත් නොපෙනෙන තරම් දුර ගොස් මහ වැව ඉහත්තට අවතීර්ණ වී ඇත. අවරට යන ඉර මල මගේ ගත පුච්චා දමමින් සිටියේය. දහඩිය ඒ වෙනුවෙන් හුදකලා සටනකය. මම ගමනේ වේගය අඩුකර සෙමෙන් හුස්ම අදින්නට වූයෙමි. "කොළඹට වඩා ගම කොච්චර සුන්දර ද? කොච්චර ලස්සන ද? ඒත් ගම කොච්චර වේදනාවක් නගරයට වඩා දරාගෙන නොපෙන්වා ඉන්නවද?" මගේ සිත සිතුවිලි පොකුරකින් පිරෙන්නට විය.

(දෙවන පිටුවෙන් හමුවෙමු)

0 comments:

Post a Comment